Sunday 28th of April 2024

English Tamil
Advertiesment


ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු විස්සයි-20 ගැටුම අදයි


2022-06-07 7600

වැස්සේ නැත් නම් ගින්දර සටනක්

(අචින්ත මධුර)

සංචාරක ඔස්ට්‍රේලියා පිල හා ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගමාලාව ආරම්භ කරමින් පළමු විස්සයි 20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරු 7ට ආරම්භ වෙයි. මේ දිනවල ඇද හැලෙන වර්ෂාවෙන් බාධාවක් නොවී නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට වාසනාව ලැබුණ හොත් මේ තරගය වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගනු නිසැකය. මන්ද යත් තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ ආරම්භක ජයග්‍රහණය සාර්ථක තරගාවලියක නිමාව උදෙසා කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වන බැවිනි.

වත්මන් විස්සයි 20 ලෝක ශූර ඔස්ට්‍රේලියා පිල වසර 6කට පසුව ආකෘති තුනේම සම්පූර්ණ තරගාවලියකට පැමිණි පළමු අවස්ථාව මෙය බැවින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ ද තරගාවලිය නැරැඹීම උදෙසා විශාල උනන්දුවකින් පසු වෙති. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ පසුවන අතර, ඕස්ට්‍රේලියාව මේ වන විට 5 වැනි තැන සිටී.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව විස්සයි 20 තරග බිමේදී මුල් වරට හමු වන්නේ වසර 2007දී දකුණු අප්‍රිකාවේ දී පැවති පළමු ලෝක කුසලාන තරගාවලියේ දී වන අතර, එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වේ. එතැන් සිට මේ දක්වා දෙරට අතර විස්සයි විස්ස තරග 22ක් පවත්වා ඇති අතර, ඉන් තරග 12ක ජයග්‍රහණ හිමි වන්නේ සංචාරකයන්ට වන අතර, තරග 9ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු කර ගත්තේය. මේ වසරේ ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාවේ කළ සංචාරයේදී මෙල්බර්න්හිදී පැවැති තරගය ලකුණු සම වූ අතර, පසුව සුපිරි ඕවරයේදී ඔස්ට්‍රේලියාවට ජය හිමි විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත් වූ කැන්ගරුවෝ අනතුරුව සහභාගී වූ තරග ලැයිස්තුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව 4-1ක සහ පාකිස්තානයට එරෙහිව 1-0ක ජයග්‍රහණයක් ලබා අපරාජිතව සිටිති. ශ්‍රී ලංකාව මේ විස්සයි20 තරගාවලියට අවතීර්ණ වන්නේ ඩුබායි ලෝක කුසලානයෙන් පසුව ඔස්ට්‍රේලියාව සමඟ තරගාවලියේ 4-1ක සහ ඉන්දියාව සමඟ 3-0ක පරාජයක් සමගින් වුවද කිසිදු මානසික බිඳ වැටීමක් නැති බව නායක දසුන් ශානක ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

“ප්‍රබල ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ කිහිප දෙනකුම අපේ කණ්ඩායමේ ඉන්නවා. ඔවුන්ට විස්සයි20 අන්තර්ජාතික අත්දැකීම් ඇති එම තරගාවලිය හොදින් නිමා කළ අය. අපට මේ තරගාවලියේ හොඳ අවස්ථාවක් තියෙනවා ඉදිරියට යන්න. විස්සයි20 ක්‍රීඩා පිටියේ හොඳම පිතිකරුවන් අප සතුව සිටිනවා. ඒ වගේම සෑම අංශයකින්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් සිටිනවා. පන්දු යවන්නන්ගේ අංශයත් හොඳ ශක්තිමත් තත්ත්වයක තිබෙනවා. අපේ සියලු ක්‍රීඩකයන් අනවශ්‍ය පීඩනයකින් තොරව සැහැල්ලුවෙන් ක්‍රීඩා කරනවා“ දසුන් ශානක පැවැසීය.

විස්සයි20 පිටියේ ප්‍රමුඛයා මෙන්ම දැවැන්ත ප්‍රහාරකයා ලෙස හැඳින්වෙන නායක දසුන් ශානක මේ තරගාවලියේ දී තවත් ලකුණු 53ක් ගත හොත් මෙරට විස්සයි20 පිටියේ ලකුණු 1,000ක් වාර්තා කළ 8 වැනි පිතිකරුවා බවට පත්වනු ඇත.ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථකම විස්සයි 20 ක්‍රීඩකයා ලෙසින් විචාරකයන්ගේ ඇගයීමට ලක්ව ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ඉන්දීය රුපියල් කෝටි 10.75කට

අලෙවි වූ 24 වියැති වනිඳු හසරංග මෙතෙක් විස්සයි 20 අන්තර්ජාතික තරග 35කට ක්‍රීඩා කොට ඉනිම් 33කදී කඩුලු 57ක් බිඳ හෙළා සිටී. ඔහු ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ දී තරග 16ක දී කඩුලු 26ක් ලබා ගනිමින් එම තරගාවලියේ පන්දු යවන්නන් අතුරින් දෙවැනි තැන දිනා තවමත් ගත වූයේ සතියක පමණ කාලයකි. වනිඳු අවසන් වරට සහභාගී වූ අන්තර්ජාතික විස්සයි20 තරග 5කදී කඩුලු 13ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ දැමීමකි. භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ඉදිරිපෙළ ශක්තිමත් කරන මුල් පුරුක් බවට පත්ව සිටිති.

ශ්‍රී ලංකා සංචිතයට නම් කළ නවක ක්‍රීඩකයන් වන නුවනිඳු ප්‍රනාන්දු එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සංවර්ධන සංචිතයට ක්‍රීඩා කළ අතර, මහීෂ් තීක්ෂණ අයිපීඑල් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම ප්‍රධානතම පුවතක් බවට පත් විය. නුවනිඳු සමග තීක්ෂණ ඔස්ට්‍රේලියා පිතිකරුවන්ට හිසරදයක් වීම වැළැක්විය නොහැකිය.

පිතිකරණයේ දී හිත් පිත් නොමැති ශක්තිමත් අසරුවකු බඳු ඇරොන් ෆින්ච් ලැබෙන පළමු අවස්ථාවේදීම දවා ගැනීම සෑම ප්‍රතිවාදියකු විසින්ම කළ යුතුය යන සිද්ධාන්තයක් ලෝක ක්‍රිකට් පිටියේ පවතී. ඔහු එතරම්ම භයානක පිතිකරුවෙකි. ෆින්ච් ශතක දෙකක් සහ අර්ධ ශතක 16ක් සමග විස්සයි20 පිටියේ තරග 89කදී ලකුණු 2741ක් රැස් කරගෙන සිටී. 35 වියැති වමත් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙතෙක් තරග 88කට ක්‍රීඩා කරමින් ලකුණු 2554ක් රැස් කරගෙන සිටින අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කළ අවසන් ඉනිම් 10දී අර්ධ ශතක 4ක් සමග ලකුණු 364ක් රැස් කර ඇත. ග්ලේන් මැක්ස්වෙල් ද පිත්තෙන් දස්කම් දක්වමින් සිටින ප්‍රබල පිතිකරුවකු වන අතර, මිචෙල් ස්ටාක්, මිචෙල් ස්වෙප්සන් හා මාකස් ස්ටොයිනිස් වැනි පන්දු යවන්නෝ ද කඩුලු අතර සිටිති.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.

ඕස්ට්‍රේලියා විස්සයි20 සංචිතය: ඇරොන් ෆින්ච් (නායක), ෂෝන් ඇබට්, ඇෂ්ටන් අගාර්, ජොස් හෙසල්වුඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ජායී රිචර්ඩ්සන්, කේන් රිචර්ඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාර්කස් ස්ටොයිනස්, මිචෙල් ස්වෙප්සන්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්.

ක්‍රිකට් තරගයට කාලගු ණ අනාවැකියක්

සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි 20 තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට අද පස්වරුවේ ධාරානිපාත වර්ෂාවක් පිළිබඳ වාර්තාවක් නැති බව කාලගුණ විද්‍යා දෙපාරේතමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය පවසයි. ඇය පැවැසූවේ සවස 6 පමණ වනවිට මිනිත්තු 10ක පමණ සුලු වර්ෂාවක් පතිතවීමට ඉඩ ඇති අතර, ක්‍රමයෙන් රාත්‍රිය එළැඹෙද්දී වර්ෂාවෙන් ඇති තර්ජනය පහව යනු ඇති බවය.

කෙසේ වුවද 8 වැනිදා (හෙට) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට වර්ෂාවෙන් කිසිදු බලපෑමක් නැති බවද ඇය සඳහන් කළාය.

 

Advertiesment